ප්‍රෙග්නන්ට් වුනාම හිතුමතේට බෙහෙත් නවත්තන්න පුළුවන් ද ?

පසු ගිය දිනක වයස අවුරුදු 34ක කාන්තාවක් තම ස්වාමි පුරුෂයා සමඟ විශේෂඥ වෛද්‍යවරයා හමු වීමට පැමිණියා. ඔවුන් විවාහ වී අවුරුදු 12ක් ගත වී තිබුනත් තවමත් දරු සුරතල් බැලීමේ වාසනාව ඔවුනට හිමි වී තිබුනේ නෑ. එම කාන්තාව පරීක්ෂා කල විගසම ඇයට ඇත්තේ ඩිම්බ කෝෂ වල තරල පිරුණු බුබුළු සහිත (Polycystic Ovarian Syndrome) රෝගය බව වෛද්‍යවරයා අඳුනා ගත්තා. තරබාරුබව, ඉනෙහි අධික ලෙස තෙල් තැන්පත් වී තිබීම, සමෙහි අධික ලෙස රෝම පැවතීම මෙහි රෝග ලක්ෂණයි. (PCOS ගැන වැඩි විස්තර සඳහා මෙම ලිපිය කියවන්න)

ඉන්පසු වෛද්‍යවරයා විසින් රෝගියා ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ අතර එයින් පෙනී ගියේ ඩිම්බ කෝෂ ඉදිමීම නිසා ස්‍රාවය වන පිරිමි හෝර්මෝන මඟින් ඇගේ මාස් ශුද්ධිය සාමාන්‍ය අයුරින් සිදු නොවීමයි.

මේ සඳහා ප්‍රතිකාර කිරීමේ අරමුණින් විශේෂඥ වෛද්‍යවරයා Laparoscopic Ovarian Drilling නමින් හඳුන්වන ශල්‍යකර්මය මඟින් කැමරාවක් ආධාරයෙන් ඩිම්බ කෝෂ සිදුරු කර ඒ තුළ ඇති ස්‍රාවයන් පිටතට ගැනීමට තීරණය කරා. මෙම ශල්‍යකර්මය සඳහා රෝගියා නිර්වින්දනයට ලක් කරන්න ඕන. නිර්වින්දන කරන්න කලින් රෝගියාගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කලා. සීනී වාර්තාව නිරීක්ෂණය කළ වෛද්‍යවරයාට දක්නට ලැබුණේ එහි සීනි මට්ටම ඉතා ඉහළ බවයි. මේ නිසා කායික රෝග විශේෂඥ වෛදයවරයෙකුට යොමු කරලා දියවැඩියා රෝගයට අවශ්‍ය ඖෂධ ලබා දෙන්න සීනී පාලනය කිරීමට ඉන්සියුලීන් සහ තවත් බෙහෙත් ඇයට ලබා දෙන්න සිදු වුනා.
ශල්‍යකර්මයෙන් පසුවත් ගර්භණී වූ පසුවත් මෙම බෙහෙත් දිගටම ලබා ගන්නා ලෙසට ඇයට පවසා තිබුනා. ශල්‍යකර්මය සාර්ථකව නිම කරලා මාසයකට පසු ඇය IUI ප්‍රතිකාරයෙන් ගර්භාෂයේ ශුක්‍රාණු තැන්පත් කිරීමකට යොමු වුනා. එම මාසයේදීම දරු ගැබකට හිමිකම් කීමට තරම් ඇය වාසනාවන්ත වුනා. නමුත් අවාසනාවන්ත ලෙස විශේෂඥ වෛද්‍ය උපදෙස් ගනන් නොගෙනම සීනි පාලනයට දීපු ඉන්සුලින් බෙහෙත යි අනිත් බෙහෙතුයි හිතුමතේට නතර කළා. ගැබ් ගත් බව තහවුරු කළ මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙලා දවස් කීපයක් ගත වෙද්දි දරු ගැබ ස්වාබාවිකවම ගබ්සා වී තිබුණා. පසුව පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාට පෙනී ගියේ හිතුමතේට ඇය බෙහෙත් නවත්තපු නිසා ලේ වල සීනි මට්ටම ඉතා වැඩි මට්ටම තිබූ බවයි. ගබ්සා වීමට හේතු වුනෙත් මෙලෙස සීනී මට්ටම පාලනයකින් තොරව ඉහල ගිය නිසයි.

දියවැඩියාව පමණක් නොවේ වලිප්පුව, අධි රුධිර පීඩනය, ඇදුම වගේ රෝග තිබුනත් ඒයින් දරු ගැබට හානි වෙන්න පුලුවන් නිසා විශේෂඥ වෛද්‍යවරයෙක් මුන ගැහිලා මේ තත්ත්ව පාලනය කර ගැනීමට සිදු වෙනවා. ඒ වගේම වෛද්‍යවරයා ලබා දෙන බෙහෙත් ඒ මාත්‍රාවෙන්ම ඒ කාල පරිච්ඡේදයේ දිගටම ලබා ගන්න අවශ්‍යය යි.
මේ කතාවෙන් ඔබට අපට ඉගෙන ගන්න තියන වැදගත්ම පාඩම තමයි හිතුමතේට නැතුව විශේෂඥ වෛද්‍යවරයා නියම කරන අන්දමින් බෙහෙත් ලබා ගන්න ඕන කියලයි. ඔබේ හිතුවක්කාරකම නිසා ඔබට ලැබෙන එකම දරු සම්පත ඔබෙන් ගිලිහී යන්න පුලුවන්. ඒ නිසා මෙවැනි අත් හදා බැලීම් සිදු නොකර ජීවිතයේ ලැබෙන එකම දරු සම්පත මෙය විය හැකියැයි සිතමින් එක ඇසක් ඇති පුද්ගලයෙකු එම ඇස ආරක්ෂා කරන්නාක් මෙන් ඊටත් වඩා වුවමනාවෙන් තමන් වෙත ලැබෙන දරු සම්පත ගිලිහී යාමට ඉඩ නොදී රැක ගැනීම ඔබ සැමගේ යුතුකමකි.

Tamil
Powered by TranslatePress