ගර්භාෂ බිත්තියේ ඝනකම පිළිබඳ කාන්තාවක් වන ඔබ දැනගත යුතු දේවල්

කාන්තාවකගේ ගර්භාෂය ප්‍රධාන ස්ථර තුනකින් සමන්විත වන අතර ක්‍රියාකාරී අභ්‍යන්තර ස්ථරය එන්ඩොමෙට්‍රියම (Endometrium) ලෙස හඳුන්වයි. එය විශේෂිත සෛල ස්ථර වලින් සමන්විත වන අතර ඔසප්වීම සිදුවන කාන්තාවකගේ නම්, ඔසප් චක්‍රයේ කාලය අනුව මෙම එන්ඩොමෙට්‍රියමේ ඝනකම මෙන්ම ව්‍යුහය ද වෙනස් වේ. මෙම වෙනස්වීම් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් (Ultra Sound Scan) මඟින් හඳුනාගත හැකිය.

ඔසප් වීම සිදුවීමෙන් පසු එන්ඩොමෙට්‍රියමේ ක්‍රියාකාරී සෛල ස්ථර ගැලවීයාම නිසා එම බිත්තියේ ඝනකම අඩුවී තුනී ස්ථරයක් ලෙස දිස්වේ. මෙම අවස්ථාවේදී ගර්භාෂ බිත්තියේ ඝනකම (Endometrial Thickness) 2mm- 4mm පමණ වේ. ඉන්පසු ඔසප් චක්‍රයේ මුල් භාගයේදී ගර්භාෂය පිළිසිඳගැනීමකට සූදානම් වෙමින්, එන්ඩොමෙය්ට්‍රියමේ සෛල ස්ථර හොඳින් වර්ධනය වේ. ඔසප් චක්‍රයේ මුල් භාගය අවසානයේදී එම සෛල ස්ථරය (Endometrial Thickness) 8mm – 12mm අතර ප්‍රමාණයකට ඝනකම වැඩිවී තිබිය හැක. එම කාලයේදී එන්ඩොමෙට්‍රියම ලේනෙකුගේ පිටෙහි ඇති ඉරි තුනක් මෙන් (Triple Line) Ultra Sound Scan පරීක්ෂණයෙන් පෙන්නුම් කරයි.

ඔසප් චක්‍රයේ දෙවන භාගයේ දී ඩිම්බ මෝචනයත් සමඟ එන්ඩොමෙට්‍රියමේ මෙම ඉරි තුනෙහි හැඩය (Triple Line) මැකී යන අතර ඝනකම 10mm – 14mm දක්වා වැඩි විය හැකිය. ඔසප් චක්‍රයේ දෙවන භාගය අවසානයේ ඔසප් වීම සිදුවීමත් සමඟ රුධිරය සමඟ ගැලවී යන්නේ, මෙලෙස වර්ධනය වූ සෛල ස්ථර වේ.
ගර්භාෂයේ පිළිකා සහ අසාමාන්‍ය ලෙස සෛල ස්ථර වර්ධනය වීම හඳුනාගත හැකි ප්‍රධානතම සාධකයක් වන්නේ, මෙම එන්ඩොමෙට්‍රියමේ ඝනකමයි (Endometrial Thickness). මෙවැනි සැක සහිත තත්ත්ව වලදී, ගර්භාෂයේ අභ්‍යන්තර ස්ථරයේ සෛල පරීක්ෂණයට (Endometrial Sampling Procedures) භාජනය කිරීමට සිදුකරයි.

උදාහරණ:-

  • Endometrial Biopsy
  • Dilation & Curettage (D & C)

මෙහිදී ඔසප් චක්‍රය නැවතී ඇති කාන්තාවන්ගේ (ආර්ථවහරණය සිදුවූ) එන්ඩොමෙට්‍රියමේ ඝනකම සාමාන්‍යයෙන් 4mm ට වඩා අඩුවන අතර මෙම අගය 5mm ට වඩා වැඩි අවස්ථා වලදී එය පිළිකා තත්ත්වයක් දැයි නිර්ණය කිරීම සඳහා පරීක්ෂණ සිදුකළ යුතුය. මෙවැනි කාන්තාවන් බොහෝවිට රෝහලට පැමිණෙන්නේ අසාමාන්‍ය ලෙස යෝනී මාර්ගයෙන් රුධිරය පිටවීම හේතුවෙනි. මෙවැනි කාන්තාවන්ගේ එන්ඩොමෙට්‍රියමේ ඝනකම 20mm ට ආසන්න වේ නම්, මෙම රෝගී තත්ත්වය ගර්භාෂයේ පිළිකාවක් වීමේ අවධානම ඉතා වැඩිය.
ඔසප් වීම තවමත් සිදුවන, පිළිසිඳ ගැනීමේ වයස් සීමාවේ පසුවන කාන්තාවන්ගේ මෙලෙස ගර්භාෂ බිත්තියෙහි පිළිකා ඇතිවීමේ අවධානම අඩු අතර එන්ඩොමෙට්‍රියමේ ඝනකම ද ඔසප් චක්‍රයේ කාලය අනුව වෙනස්වන බැවින් නිශ්චිත අගයක් පැවසීම අපහසුය. ඔසප් වීම සිදුවන පිළිකා අවධානමක් ඇති කාන්තාවන්ගේ එන්ඩොමෙට්‍රියමේ පරීක්ෂණ සිදු කරන්නේ ඔසප් චක්‍රයේ මුල් භාගයේ 4,5 සහ 6 වන දින වලය. සාමන්‍යයෙන් එන්ඩොමෙට්‍රියමේ උපරිම ඝනකම 14 – 16 mm වුවද ඇතැම් අවස්ථා වල 24 mm පමණ ඝනකමකින් යුත් පිළිකාමය නොවන අවස්ථා ද වාර්ථා වී ඇත. මෙවැනි තත්ත්ව නිසා Ultra Sound Scan පරීක්ෂණයකින් පසු පිළිකා අවධානම බැහර කිරීම සඳහා ඉදිරි පරීක්ෂණ (Endometrial Sampling Procedures) සිදු කිරීම අත්‍යාවශ්‍යය.
ගර්භාෂ බිත්තිය මනාවට පිහිටා තිබීම කාන්තාවකගේ සරු බවෙහි ලක්ෂණයයි. කලලය එහි තැන්පත් වී සම්පූර්ණයෙන් පෝෂණය ලබාගනුයේ මෙම ගර්භාෂ බිත්තියෙනි. එබැවින් ඔබ ගර්භණී වීමට බලාපොරොත්තුවෙන් සිටී නම්, මෙම ගර්භාෂ බිත්තිය කෙරෙහි වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

Tamil
Powered by TranslatePress