Recurrent Miscarriages – නැවත නැවතත් සිදුවන ගබ්සාවීම්

එකපෙළට, දෙවතාවකට වඩා සිදුවන ගබ්සාවීම්, Recurrent Miscarriages නැතහොත් නැවත නැවතත් සිදුවන ගබ්සාවීම් ලෙස හඳුන්වයි.
බොහෝ කාන්තාවන්ට සමහර අවස්ථා වල සිදුවන ගබ්සා වලට වඩා මෙම Recurrent Miscarriages රෝග තත්ත්වය වෙනස් වේ. විශේෂඥ වෛද්‍ය සහය ඇතිව මෙම, නැවත නැවතත් සිදුවන ගබ්සාවීම් වලට අදාළ විශේෂිත පරීක්ෂණ සිදුකරමින්, මෙම තත්ත්වය ඇති වීමට හේතු වූ කාරණය සොයා බලා එයට ප්‍රතිකාර කළ යුතුය. මෙම තත්ත්වයේ බැරෑරුම්කම අවබෝධයක් නොමැතිව, අදාළ පරීක්ෂණ වලට සහභාගී නොවී එකපෙළට ගබ්සාවීම් පස් වතාවකට වඩා සිදු වී ඇති කාන්තාවන් ද අපට හමු වී ඇත්තේ කලාතුරකින් නොවේ.
සාමාන්‍යයෙන් සෑම ගැබ් ගැනීම් 100 කට, 15ක් කලලයන් ගබ්සා වේ (15%). මේ අතරින් 0.4 – 1 % පමණ ගබ්සාවීම් වලට හේතු වන්නේ, මෙම Recurrent Miscarriages තත්ත්වයයි.

Recurrent Miscarriages ඇතිවීමට හේතු:-

  1. ගර්භාෂයේ ඇති අසාමාන්‍යතා – Uterine Anomalies
  2. Submucosal Fibroids – ශ්ලේෂ්මල පටලයට යටින් ඇති ෆයිබ්‍රොයිඩ ගෙඩි ය.
  3. Adenomyosis රෝගී තත්ත්වය
  4. ගර්භාෂයේ මස්දළු – Endometrial Polyps
  5. ගර්භාෂයේ ඇතුළත ඇති ඇලීම් තත්ත්වයන් – Intrauterine Adhesions
  6. ගැබ්ගෙල දුර්වලතා – Cervical Incompetence
  7. ප්‍රතිශක්තීකරණ රෝග – Immunological Diseases
    උදා:- Antiphospholipid Syndrome
  8. හෝමෝන අසමතුලිතතා
    උදා:- PCOS, තයිරොක්සීන් ඌනතා සහ රුධිරයේ
    ප්‍රොලැක්ටීන් මට්ටම ඉහළ යාම (hyperprolactinaemia)
    ඔසප් චක්‍රයේ 2 වැනි අවධියේ ඇතිවිය හැකි දෝෂ (Luteal phase defects)
    ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය, කලලය ගර්භාෂ
    බිත්තියේ නිවැරදිව තැන්පත් වීම සහ පවත්වාගෙන යාම සිදු කරයි. මෙම ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ අසමතුලිතතා නිසා කලලය පිළිසිඳ ගැනීම පිළිබඳ ගැටලු ඇති කරයි.
    මේ නිසා ප්‍රොජෙස්ටරෝන් මට්ටම නිසි අයුරින් පවත්වාගෙන යා යුතුය.
  9. ජානමය ගැටලු
    උදා:- වර්ණදේහ වල සංකූලතා
    මෙම ගැටලු ලේ ඥාතීන් අතර විවාහ වලින් ඇති වන කලලයන්ගේ වැඩි බව පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත.
  10. රුධිරය ඉක්මණින් කැටි ගැසීමේ රෝගී තත්ත්ව
    (Thrombophilia & Fibrinolytic factors)
    මෙවැනි තත්ත්ව නිසා වැදෑමහ තුළ ඇති සියුම් රුධිර නාළ වල ලේ කැටි සිර වී කලලය රුධිරය නොලැබී යා හැකිය.
  11. පාලනය නොකරන ලද දියවැඩියාව
  12. මානසික ආතතිය
  13. රසායනික ද්‍රව්‍ය
    උදා:- ආසනික්, කෘමිනාශක / වල්නාශක, ලෙඩ්, රසදිය, Cd
  14. අසාමාන්‍ය ශුක්‍රාණු
    පුරුෂයාගේ ශුක්‍රාණු වල අසාමාන්‍ය බව නිසා එම ශුක්‍රාණුවක් මඟින් සංසේචනය වූ කලලය ඉක්මණින් ගබ්සා වී යා හැකිය.
  15. ඩිම්බ වල සරු බව, ගුණාත්මක බව අඩුවීම.

(Diminished Ovarian Reserve)
Recurrent Miscarriages සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ:-

  1. ජානමය පරීක්ෂණ – Karyotyping
    මිල අධික වන මෙම පරීක්ෂණ උසස් තත්ත්වයේ රසායනාගාර වල සිදු කරයි. එමඟින් Recurrent Miscarriages ඇති වීමට හැකි ජානමය දෝෂ තිබේදැයි පරීක්ෂා කරනු ලැබේ.
  2. ගර්භාෂයේ දෝෂ පරීක්ෂා කිරීම –
    Ultra sound scan – අති ධ්වනි තරංග පරීක්ෂාව
    Hysterosalpingography (HSG) පරීක්ෂාව
    Sonohysterography
    Hysteroscopy
    Laparoscopy
    MRI
    මෙම පරීක්ෂණ වලට රෝගියා යොමු කිරීම අදාළ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිගමනය කරනු ලැබේ.
  3. Anti-phospholipid Syndrome වැනි ප්‍රතිශක්තීකරණ රෝග තත්ත්ව
    සඳහා
    Anticardiolipin Antibody (Ig G & Ig M)
    Lupus Anticoagulant Antibody
    Anti-beta 2 glycoprotein I
    මෙම පරීක්ෂණ සති 12ක පරතරයෙන් 2 වතාවක් සිදුකරගැනීමෙන් වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබාගත හැක.
  4. තයිරොක්සීන් හෝමෝන පරීක්ෂණ සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රතිදේහ සඳහා පරීක්ෂණ
  5. ඩිම්බ වල සරුභාවය සඳහා පරීක්ෂණ –
    Antral follicle count (AFC)
    AMH හෝමෝන පරීක්ෂාව
  6. රුධිරය කැටිගැසීමේ දෝෂ පරීක්ෂා කිරීම සඳහා සිදුකරන විශේෂ පරීක්ෂණ
  7. ගර්භාෂයේ ඇතුළත බිත්තියේ පටක පරීක්ෂණ (Endometrial Biopsy)
  8. දියවැඩියාව සඳහා පරීක්ෂණ
  9. අනෙකුත් හෝමෝන සඳහා පරීක්ෂණ
    උදා:- ප්‍රොජෙස්ටරෝන්
    Recurrent Miscarriages සඳහා ප්‍රතිකාර:
    ගර්භාෂයේ අසාමාන්‍යතා තිබෙන අවස්ථා වලදී ශල්‍යකර්ම මඟින් ඇතැම් තත්ත්වයන්ට සාර්ථක ලෙස ප්‍රතිකාර සිදුකළ හැක.
    • ජානමය ගැටලු වලදී දායක ශුක්‍රාණු, දායක ඩිම්බ ලබා ගැනීම සහ වෙනත් කාන්තාවකගේ ගර්භාෂය කුලියට ගැනීම (Surrogacy) සහ දරුවෙකු දරුකමට හදාවඩා ගැනීම (Adoption) වැනි විකල්ප වලට යොමු විය හැකිය.
    • Anti-phospholipid වැනි රෝගී තත්ත්ව වලදී ඇස්ප්‍රීන් (Aspirin), හෙපරීන් (Heparin) වැනි ඖෂධ භාවිතා කරමින් රෝගියා නිරන්තරයෙන් පරීක්ෂා කර බලමින් ප්‍රතිකාර සිදුකළ හැකිය.
    • තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්ව වලදී සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව වලදී කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීම වැදගත්ය.
    • ප්‍රොලැක්ටීන් හෝමෝනය ප්‍රමාණය ඉක්මවා ශරීරයේ ඇති තත්ත්ව වලදී bromocriptine, cabergoline වැනි ඖෂධ නියම කරයි. මේවා විශේෂඥ වෛද්‍ය නිර්දේශයට අනුවම ලබා ගැනීම වැදගත් වේ. ඩිම්බ කෝෂ වල වතුර බුබුළු (PCOS) තත්ත්වයට ද නිසියාකාරව ප්‍රතිකාර ලබා ගතහොත් මැනවින් පාලනය කර ගත හැකි තත්ත්වයකි.
    • මානසික ආතතිය නැති කර ගැනීම ද , ශරීරයට හැකි පමණින් විවේකයක් ලබා දීම ද , පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම ද වැදගත් වේ.
    මෙවැනි රෝග තත්ත්ව වලදී හැකි සෑම විටම විශේෂඥ වෛද්‍ය සහය ලබා ගැනීම වැදගත් වේ.
English
Powered by TranslatePress