ඔසප් චක්‍රය අක්‍රමවත් වීම (Irregular Menstrual Bleeding)

සාමාන්‍යයෙන් කාන්තාවකගේ මල්වර වීමෙන් පසු මාසිකව සිදු වන ඔසප් වීම ආර්තවහරණයෙන් පසු නතර වේ. ක්‍රමවත්ව මාසිකව සාමාන්‍ය අන්දමින් ඔසප් වීම ඇයගේ නීරෝගී ප්‍රජනන හැකියාව පෙන්නුම් කරයි. නමුත් සමහර කාන්තාවන්ගේ මෙම ඔසප් චක්‍රය නිවැරදි පරිදි සිදු නොවේ. මෙහිදී සමහරුන්ගේ මුල සිටම මාස් ශුද්ධිය අක්‍රමවත් වන අතර අනෙක් කාන්තාවන්ගේ මුලදී ක්‍රමවත්ව පැවති මාස් ශුද්ධිය පසුව අක්‍රමවත් වීම සිදු වේ. මෙලෙස මාසිකව සිදු වන ඔසප් වීම දින 7-9 ත් අතර කාලයක් වෙනස් වීම ඔසප් චක්‍රය අක්‍රමවත් වීම ලෙස හැඳින්විය හැකිය.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බලපාන හේතු :-

  1. හෝමෝන අසමතුලිතතාව
    ඔසප් චක්‍රය පාලනය කරනු ලබන්නේ ශරීරයේ ඇති විවිධ හෝමෝන වලිනි.
    උදා :- GnRH, FSH, LH, Prolactin , Thyroxin , Progesterone. Estrogen වැනි
    විවිධ හේතූන් නිසා මෙම හෝමෝන යාමනය කරන හයිපොතැලමස , පිටියුටරි ග්‍රන්ථිය සහ ඩිම්බ කෝෂ අතර සන්නයන මාර්ගය බිඳ වැටී ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකිය.
    උදා :- පීකෝස්/ ඩිම්බ කෝස වල වතුර බුබුළු (Polycystic Ovarian Syndrome)
    පිටියුටරි ග්‍රන්ථියේ ගෙඩි
    තයිරොක්සීන් හෝමෝනයේ අසමතුලිතතා
  2. මල්වර වීම සිදු වූ මුල් කාලය
    ඔසප් චක්‍රය ආරම්භ වී මුල් කාලයේද ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකිය.
  3. ශ්‍රෝණි කුහරයේ ආසාදන තත්ත්ව (Pelvic Inflammatory Disease)
  4. ආර්තවහරණයට ආසන්න කාලයේදී
    ඔසප් චක්‍රය අවසන් වීමට ආසන්න කාලය වන විට ද සාමාන්‍ය පරිදි සිදු වූ මාස් ශුද්ධිය අක්‍රමවත් වීමට ඉඩ කඩ ඇත.
  5. දරු පිලිසිඳ ගැනීමක දී
    සමහර අවස්ථා වලදී ගැබ් ගැනීමක මුල් අවධියේදී මෙලෙස අක්‍රමවත් ඔසප් වීම් රටාවක් පෙන්විය හැකිය.
  6. මව් කිරි ලබා දීමේදී
  7. විවිධ උපත් පාලන ක්‍රම භාවිතයේදී
    උදා :- උපත් පාලන පෙති, අන්තර් ගර්භාශයික ලූප
  8. රුධිරය කැටි ගැසීමේ රෝග, නිදන්ගත වකුගඩු රෝග යනාදිය
  9. අධික ලෙස ව්‍යායාම වල යෙදීම
  10. අධික මානසික ආතතිය

මෙලෙස ඔසප් වීම අක්‍රමවත් වීම සමහර අවස්ථා වලදී කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව වුව ද යලි සාමාන්‍ය තත්ත්වයට පත් වීම සිදු වේ. නමුත් එලෙස සමනය නොවන අවස්ථා වලදී සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම තත්ත්වයන් මඟ හරවා ගැනීමට හැකි වේ.
අක්‍රමවත් ඔසප් රටා නිසා ඇති විය හැකි ගැටළු :-

  • මඳ සරු භාවය
  • රක්තහීනතාව
  • ඔස්ටියෝපොරෝසිස්
  • ගර්භාෂයේ අසාමාන්‍යතා

ප්‍රතිකාර :-

  • හෝමෝනමය ප්‍රතිකාර ලබා දීම
  • පීකෝස් වැනි රෝග තත්ත්ව වල ප්‍රතිකාර කිරීම.
  • තයිරොක්සීන් හෝමෝන තත්ත්වය නිසි පරිදි පවත්වා ගැනීම.
  • ශරීරයේ බර නිසි පරිදි පවත්වා ගැනීම.
  • සුදුසු මානසික සුවය පවත්වා ගැනීම.
  • ආසාදන වලට ප්‍රතිකාර ලබා ගැනීම. (PID)

වර්තමානය වන විට නූතන වෛද්‍ය විද්‍යාව බොහෝ සේ දියුණුවට පත්ව ඇත. එමනිසා මෙම තත්ත්ව සඟවා ගෙන නොසිට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

English
Powered by TranslatePress