ඔබත් හෝමෝන පරීක්ෂණ සිදු කර ගත්තේ නිවැරදි ක්‍රමයට ද?

ශරීරයේ ක්‍රියාකාරීත්වය නිවැරදි අයුරින් පවත්වා ගෙන යාමට හෝමෝන නිසි මට්ටමින් යාමනය වීම අත්‍යවශ්‍ය වේ. මඳ සරු බව ඇති වීමට මෙම හෝමෝන අතර අසමතුලිතතාවයක් පැවතීම ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත.එම නිසා මඳසරු බවින් පෙලෙන යුවල් සඳහා සිදු කරන පරීක්ෂණ අතර හෝමෝන මට්ටම් පරීක්ෂා කිරීම නිරන්තරයෙන් සිදු වන දෙයකි. ඉන්පසු ලැබෙන හෝමෝන පරීක්ෂණ වාර්තා වල ප්‍රතිඵල අනුව සිදු කිරීමට නියමිත ප්‍රතිකාර ද වෙනස් වේ. නමුත් මෙම ලබා ගන්නා පරීක්ෂණ වාර්තා වල අගයන් සමහර අවස්ථා වලදී නිවැරදිම අගයන් නොවිය හැකි බව ඔබ දන්නවා ද? නිවැරදි ලෙස හෝමෝන පරීක්ෂණ වාර්ථා වල ප්‍රතිඵල නොලැබීමෙන් ඔබගේ මඳ සරුභාවයට හේතු වූ කාරණය සොයා ගැනීමට නොහැකි වනවා පමණක් නොව නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමට ද නොහැකි වී යයි.
මෙම හෝමෝනයන්හි ප්‍රතිඵල වල නිරවද්‍යතාව රඳා පවතින සාධක කිහිපයක් පවතී.

  1. පරීක්ෂණය සඳහා නිවැරදිව සූදානම් වන ආකාරය
  2. පරීක්ෂණය සඳහා රුධිර සාම්පලය ලබා ගන්නා කාලය
  3. රුධිර සාම්පලය ලබා ගන්නා ආකාරය, එය ගබඩා කර තැබීම සහ සුදුසු ලෙස ප්‍රවාහනය
  4. සාම්පලය පරීක්ෂා කරන පරීක්ෂණාගාරයෙහි ඇති උපකරණයන්ගේ තාක්ෂණය සහ නිරවද්‍යතාවය
  5. රසායනාගාර ශිල්පීන්ගේ නිපුණතාවය

මෙහිදී හෝමෝන පරීක්ෂණ වාර්ථා වල නිරවද්‍යතාවය කෙරෙහි ඔබ සාම්පලය ලබා දෙන රසායනාගාරයෙහි ගුණාත්මකභාවය ප්‍රධාන වශයෙන් බලපානු ඇත. එමනිසා සෑමවිටම එවැනි උසස් තත්ත්වයෙන් යුතු රසායනාගාරයක් කරා යොමු වී පර්‍යේෂණ සිදු කර ගැනීමට උත්සහ කරන්න.
රෝගීන්ට තවමත් නිවැරදි ලෙස හෝමෝන සඳහා රුධිර සාම්පලයක් ලබා දීම පිළිබඳව අවබෝධයක් නොමැති බැවින් සුලභ ව පරීක්ෂා කරන හෝමෝන කිහිපයක විස්තර පහත දක්වා ඇත.

  • TSH හෝමෝන පරීක්ෂාව – ශරීරයේ තයිරොක්සීන් හි ක්‍රියාකාරීත්වය පිළිබඳ දැන ගැනීම සඳහා සිදු කරන ලද මෙම පරීක්ෂණයට විශේෂ සූදානම් වීමක් අවශ්‍ය නොවේ. තවද මෙම පරීක්ෂණය සඳහා නිරාහාරව සිටීම (Fasting) අවශ්‍ය නොවේ. රුධිර සාම්පලය ලබා දිය යුතු සුදුසුම කාලය ලෙස සැලකෙන්නේ උදෑසන 7 සිට 10 දක්වා කාලයයි.
  • Prolactin හෝමෝන පරීක්ෂාව – සාමාන්‍යයෙන් උදෑසන අවදි වීමෙන් පැය 3-4 කට පමණ පසු සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ (පෙ. 8-10). ඔසප් චක්‍රයේ ඕනෑම දවසක මෙම පරීක්ෂණය සිදු කල හැකි අතර පැය 8-10 ත් අතර කාලයක් නිරාහාරව සිට (Fasting) පරීක්ෂණයට ලක් වීම වඩාත් සුදුසු වේ. සංවේදී සිදු වීම් , මානසික ආතතිය ,අධික ව්‍යායාම, පරීක්ෂණය සිදු කරන දිනට පෙර දින ලිංගිකව එක්වීම වැනි තත්ත්ව නිසා රුධිරයේ Prolactin මට්ටම වැඩි වන නිසා පරීක්ෂණ වාර්ථා වල අගයන් නිවැරදි නොවිය හැක.මෙවැනි තත්ත්ව නොමැති දිනෙක පරීක්ෂණය සඳහා යොමු වීමෙන් වඩාත් නිවැරදි අගයන් ලබා ගත හැකිය.
  • FSH හෝමෝන පරීක්ෂාව – FSH පරීක්ෂාව සඳහා විශේෂ පෙර සූදානම් වීමක් අවශ්‍ය නොවේ. නිරාහාරව සිටිය යුතු නැත. FSH මට්ටම ඔසප් චක්‍රයේ කාලය අනුව වෙනස් වන බැවින් දින අනුව පරීක්ෂණය සඳහා පෙනී සිටීම වැදගත් වේ. FSH පරීක්ෂණය සඳහා සුදුසුම දිනය ඔසප් වීම ආරම්භ වී 3 වන දිනය ලෙස සලකයි.
  • LH හෝමෝන පරීක්ෂාව – LH හෝමෝන පරීක්ෂාව සඳහා ද විශේෂ සූදානම් වීමක් අවශ්‍ය නොවන අතර නිරාහාරව (Fasting) සිටීම ද අනවශ්‍යය. LH හෝමෝනය ද ඔසප් චක්‍රය අනුව සාන්ද්‍රණය විචලනය වන බැවින් 3 වැනි දිනයේ දී FSH සමඟම පරීක්ෂා කළ හැකි අතර දින 28 ක ඔසප් චක්‍රයක නම් 14 වැනි දිනයේදී ද පරීක්ෂා කළ හැකිය. උදෑසන කාලයේදී LH මට්ටම විශාල ලෙස මුක්ත (Surge) වන බැවින් දහවල් 12 ත් සවස 6 ත් අතර කාලයේදී පරීක්ෂණය සඳහා රුධිර සාම්පලය ලබා ගන්නේ නම් වඩාත් උචිතය.
  • Testosterone හෝමෝන පරීක්ෂාව – මෙම හෝමෝන පරීක්ෂාව සඳහා පැය 8-10ක් පමණ නිරාහාරව (Fasting) සිටීම සුදුසු වන අතර උදෑසන 7-10 ත් අතර රුධිර සාම්පලය ලබා දිය හැකි නම් වඩාත් හොඳය.

AMH හෝමෝන පරීක්ෂාව – නිරාහාරව (Fasting) සිටීම වැනි විශේෂ පෙර සූදානම් විමක් මේ සඳහා අවශ්‍ය නොවන අතර ඔසප් චක්‍රයේ ඕනෑම දිනක පරීක්ෂණය සිදු කළ හැකිය.
මෙම කුමන හෝමෝන පරීක්ෂාවට ලක් වුව ද, තමන් හෝමෝනමය උපත් පාලන පෙති,ආහාර අතිරේක සහ ඖෂධ වර්ග ලබා ගන්නේ නම් පරීක්ෂණ වලට ලක් වීමට පෙර ඔබ විසින් අනිවාර්‍යයෙන් තමාගේ වෛද්‍යවරයා ඒ පිළිබඳව දැනුවත් කළ යුතුය.

මඳ සරු බවින් පීඩා විඳිමින් සිටින ඔබට මෙම ලිපිය වැදගත් වනු නොඅනුමානය.ඔබගේ උත්සහය අත් නොහරින්න. අවශ්‍ය වනුයේ සුදුසු කාලයක් සුදුසු වෛද්‍යවරයෙකුගෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමගේ කිරි සිහිනය සැබෑ වෙත්වා!

විශේෂඥ වෛද්‍ය, රොහාන් ලියනගේ.

English
Powered by TranslatePress